Saturday, December 21, 2024

මහේෂ් මධුසංඛාගේ නිවසේ විශාල ගැටුමක්. පොලිසියේ දෙකක් රෝහලට





ජනප‍්‍රිය රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඒ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාලවයි.

ඔහුගේ පහරදීමෙන් බරපතළ තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මහේෂි මධුසංඛා පවුල් ආරවුලක් ගැන බොරලැස්ගමුව පොලීසියට දුරකථන මාර්ගයෙන් කරන ලද පැමිණිල්ලක් මත එහි ගිය පොලිස් නිලධාරීන්ට එම නිවසේදී ඇගේ සැමියා විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.

ඇයගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඇති අතර ගැටුම බේරන්නට මැදිහත් වූ තවත් නිලධාරියෙක්ද තුවාල ලබා තිබේ.

පසුව තවත් පොලිස් කණ්ඩායමක් ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් ඔහු අධික ලෙස බීමත්ව සිට ඇත

ගැටුම මත ඔහුටද තුවාල සිදුවී තිබීම හේතුවෙන් ඔහුද කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇත.

ceylon fox news
https://www.profitablecpmrate.com/egpyq5ya?key=fb9e8b1b17a4715c59c42de007573ec8

Wednesday, December 18, 2024

අශ්වින් ජාත්‍යන්තර පිටියට සමුදෙයි









ඉන්දීය දඟ පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර තිබේ. බ්‍රිස්බේන් හිදී බෝඩර් ගවස්කාර් ටෙස්ට් කුසලානයේ තෙවැනි ටෙස්ට් තරගය අද (18) වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් කෙරුණු අතර, ඉන් අනතුරුවයි අශ්වින් මේ බව දැනුම්දී ඇත. අශ්වින් මෙම ටෙස්ට් තරගාවලියේ දී ද ක්‍රීඩා කළේ ටෙස්ට් තරග 03න් එකක් පමණක් වන අතර, එහිදී ඔහු ලකුණු 53කට එක් කඩුල්ලක් දවා ගත්තේය. ඒ අනුව, අශ්වින් සිව්වැනි සහ පස්වැනි ටෙස්ට් තරග සඳහා එක් නොවන බවත් වාර්තා වේ. අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසු හෙට (19) දිනයේ දීම තම මව්බිම බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. බ්‍රිස්බේන් ටෙස්ට් තරගයෙන් පසු ප්‍රවෘත්ති සාකඡාවකදී අශ්වින් පැවසුවේ, “ජාත්‍යන්තර මට්ටමේ සියලුම ආකෘතින් හි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මෙය මගේ අවසාන දිනය වනු ඇත. මම ගොඩක් විනෝද වුණා. මම රෝහිත් ෂර්මා සහ මගේ අනෙකුත් කණ්ඩායමේ සගයන් කිහිප දෙනෙකු සමඟ එක්ව බොහෝ මතකයන් නිර්මාණය කර ඇති බව පැවසිය යුතුයි. පැහැදිලිවම ස්තුති කරන්න ගොඩක් අය ඉන්නවා, නමුත් මම BCCI සහ සෙසු කණ්ඩායමේ සගයන්ට ස්තුති නොකළේ නම් මම මගේ රාජකාරිය පැහැර හරිනවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙක්. මට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නම් කිරීමට අවශ්‍යයි. සියලුම පුහුණුකරුවන් වඩාත්ම වැදගත් දෙය නම්, මා යොමු කළ පන්දු පිතිකරුවන් එල්ල කරන ලද ප්‍රහාරවලින් විශිෂ්ට අයුරින් රැකගත් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් අතර රෝහිත්, විරාත් කෝලි, අජිරීා රහානේ, චේතස්වර් පුජාරා සිටිනවා.” අශ්වින් ටෙස්ට් තරග 106ක දී කඩුලු 537ක් බිඳ හෙලා තිබෙන අතර එක්දින තර 116ක දී බිඳ හෙලා ඇති කඩුලු ගණන 156කි. පන්දුවාර 20 තරග 65ක දී කඩුලු 72ක් අශ්වින් නමින් ලියැවී තිබේ. ටෙස්ට් තරගයක දී අශ්වින්ගේ හොඳම පන්දු යැවීම සටහන් ව ඇත්තේ ලකුණු 59කට කඩුලු 07ක් ලෙස ය. එක්දින කඩුලු බිඳ දැමීමේ දී ලකුණු 25කට කඩුලු 04ක් සහ පන්දුවාර 20 තරගයක දී ලකුණු 08කට කඩුලු 04ක් බිඳ දැමීම අශ්වින්ගේ වාර්තා අතරට එක්වේ. අශ්වින් ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ද හොඳ ඉනිම් ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ විශිෂ්ටතම ටෙස්ට් ලකුණු වන්නේ ලකුණු 124කි. 2011 වර්ෂයේ දී නවදිල්ලියේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම් දිනූ අශ්වින් එක්දින වරම් හිමිකරගත්තේ 2010 ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හරාරේ නුවරදී ය. https://www.profitablecpmrate.com/egpyq5ya?key=fb9e8b1b17a4715c59c42de007573ec8

Tuesday, December 17, 2024

ශකීබ් අල් හසන්ට පන්දු යැවීම තහනම්







බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල් හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික ක්‍රිකට් සංගම් මගින් සංවිධාන කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීමේ තහනමක් පනවා තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කර ඇත.

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් එරට පැවැත්වෙන ක්‍රිකට් තරගවලදී ශකිබ් ට පන්දු යැවීම පසුගියදා තහනම් කළේය.

ඒ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමිනි.

ඒ අනුව ශකිබ් සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණයකට ලක්කළ යුතුය.

ඔහු මේ වනවිට ශ්‍රී ලංකා T10 තරගාවලිය සඳහා එක්වී සිටියි.

ගෝල් මාවල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ශකිබ් පසුගිය තරග දෙකේදී ම පන්දු යැවීමෙන් වැළකී සිටියේය.

ටෙස්ට් සහ T20 ජාත්‍යන්තර තරගවලින් සමුගත්ත ද ශකීබ් අල් හසන් එක්දින ජාත්‍යන්තර තරග සඳහා තවමත් බංග්ලාදේශය නියෝජනය කරනු ලබයි.



 

Sunday, December 15, 2024

තරග පාවාදීමේ ඔත්තු සැපයූ ඇන්ඩෘ ෆ්ලෙචර් රටින් පලායයි










ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා පෙළඹවූ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට තොරතුරු ලබාදුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩෘ ෆ්ලෙචර් කිසිවකුටත් නොදන්වා රටින් පිටවී ගොස් ඇත. ගෝල් මාවල්ස් කණ්ඩායමේ ක්‍රීඩක ඇන්ඩෘ ෆ්ලෙචර් සිදු කළ තරග පාවාදීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ‘ගෝල් මාවල්ස්’ හිමිකරු වන ප්‍රේම් තක්කාර් නමැති ඉන්දීය ජාතිකයා රක්ෂිත බන්ධනාගාරගත කළ දිනයේදීම ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයෙන් අතුරුදන්ව ඇතැයි කණ්ඩායම් ආරංචි මාර්ග පැවසීය. ඔහු කිසිවකුටත් නොදන්වා මෙසේ හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් වෙත පිටත්ව යෑමට බව විශ්වාස කෙරේ. ඇන්ඩෘ ෆ්ලෙචර් ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයකට පමණක් ක්‍රීඩා කළ අතර, එහිදී කැන්ඩි බෝල්ට්ස් පිලට එරෙහිව පන්දු 21කදී නොදැවී ලකුණු 41ක් ලබා ගත්තේය. අනතුරුව ගෝල් මාවලර්ස් පිල තරග 5කදී ක්‍රීඩා කළ ද ඇන්ඩෘ ෆ්ලෙචර්ගේ නම සඳහන් නොවුණි. 37 හැවිරිදි ෆ්ලෙචර් බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් එක්දින තරග 25කට හා විස්සයි20 තරග 58කට සහභාගිවී සිටින ආරම්භක පිතිකරුවෙකි.

රනිල්-දිනේෂ් සහ ටිරාන්ගෙන් ප්‍රශ්න කරන්න යයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව පසුගිය ආණ්ඩුවේ සිටි කැබිනට් අමාත්‍යවරු 14 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉතිරිව සිටින්නේ තවත් සිවුදෙනකුගෙන් පමණක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරු ඒ අතර සිටිති. ඉදිරි සතිය ඇතුළත මේ අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ව්‍යවස්ථාදායක සභාවේ තීරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයන් ගත් තීරණයට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) තීරණය කළේය. ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් අදාළ පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව එහි තීන්දුව ලබා දෙමින් මේ බව තීරණය කරණ ලදි. මෙම පෙත්සම ගොනු කිරීම මඟින් පෙත්සම්කාර නීතිඥවරයා ජනතා යහපත වෙනුවෙන් සත්භාවයෙන් කටයුතු කර ඇති බවක් පෙනී නොයන බව සහ යටි අරමුණක් සහිතව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව පෙනී යන බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ. ඒ අනුව මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තිදෙනා වෙත රුපියල් ලක්ෂ 05 බැගින් ලක්ෂ 15ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස පෙත්සම්කාර නීතිඥවරයාට නියම කරන ලදි. ඔහුගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙම නඩුකරයට සම්බන්ධ පාර්ශ්වයන්ට නීතිඥ සහාය ලබා ගැනීමට සිදුවීම වෙනුවෙන් නඩු ගාස්තු ලෙස තවත් ලක්ෂ 05ක මුදලක් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛනාගාරයේ තැන්පත් කරන ලෙස ද එම නීතිඥවරයාට නියම කරන ලදි. මෙම මුදල් මාස දෙකක කාලයක් තුළ දී ගෙවීමට කටයුතු කරන ලෙස ද නියම කෙරිණ. මෙම නඩු තීන්දුව විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරන ලදි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් පුරප්පාඩු වීමෙන් අනතුරුව එම ධුරයට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පත්කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර තිබුණි. එම නාමයෝජනාව ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථාවදායක සභාව ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් පෙත්සම්කාර නීතිඥවරයා විසින් මෙම පෙත්සම අධිකරණයට ගොනු කරන ලදි. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කිරීම වැරදිසහගත බව පවසමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි. එසේම එම අවස්ථාවේදී ව්‍යවස්ථාදායක සභාව විසින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් තොරතුරු විමසා අගවිනිසුරුවරයා වෙත යොමු කළ ලිපියද නීති විරෝධී බවට පෙත්සම මඟින් පැමිණිලි කර තිබුණි. මෙම පෙත්සම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විසින් දීර්ඝ ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදි. එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල තීරණය කර ඇත්තේ එම පෙත්සම සම්බන්ධයෙන් පිළිගත හැකි කරුණු ඉදිරිපත් කරමින් පෙත්සම සාර්ථක කර ගැනීමට පෙත්සම්කරු අසමත් වී ඇති බවය. යම් විනිසුරුවරයෙකුට උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් ඒ විනිසුරුවරයා ගැන සොයා බැලීමට ව්‍යවස්ථාදායක සභාව විසින් සද්භාවයෙන් සිදුකර ඇති අතර එම ක්‍රියාව නීතියට පටහැණි නොවන බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ. ඒ අනුව නාමයෝජනා කර තිබූ විනිසුරුවරයා සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා වෙතින් කරුණු විමසීම මඟින් කිසිදු මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී නොමැති බවත් අධිකරණයේ මතය බව එම තීන්දුවෙහි සඳහන් වේ. මෙම පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණයේදී අභියාචනාධිකරණ සභාපතිවරයා හමුවේ ගොනු කර තිබූ පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවද එහි සඳහන් වේ. මෙම පෙත්සම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණ සභාපතිවරයා ක්‍රියා කළ අන්දම නිරීක්ෂණය කිරීමේදී සම්පූර්ණයෙන්ම පෙත්සම්කරුට පක්ෂව කටයුතු කර ඇති බව ඉතා පැහැදිලිව පෙනී යන බව අධිකරණයේ මතය බව එහි දැක්වේ. එසේම අධිකරණයේ නොකර හැරීම නිසා අදාළ පෙත්සම්වලට සම්බන්ධ පුද්ගලයන්ට සිය කටයුතු පහසුවෙන් ඒ ආකාරයෙන්ම කරගෙන යාමට අවස්ථාව සැලසුණු බවක් පෙනී යන බවද එම තීන්දුවේ සඳහන් වේ. අදාළ CA.writ 38/2023 සහ CA.writ 377/2023 පෙත්සම්වල ප්‍රශ්නගත පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කරුණු සැලකිල්ලට ගැනීමේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට කටයුතු කළ යුතු නමුත් එවැන්නක් සිදුවී නොමැති බවට නිරීක්‍ෂණය වන බවද නඩු තීන්දුවෙහි සඳහන් වේ. එම පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් හෝ දක්වා නැති අතර එම කරුණු ඒ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් අදාළ රිට් පෙත්සම් සම්බන්ධයෙන් දුන් තීන්දුවේ සඳහන් නොවන බවද විනිසුරු මඬුල්ල විසින් සඳහන් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත්කිරීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාගේ නාමයෝජනාව ඉදිරිපත් කරන කාලයේ දී එවකට සිටි ක්‍රීඩා ඇමැතිවරයා විසින් එම විනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ බව ද එම ප්‍රකාශය ව්‍යවස්ථාදායක සභාවේ සැලකිල්ලට භාජනය වී ඇති බව පෙනී යන බව අධිකරණ හැඟීම බව මෙම තීන්දුවෙහි සඳහන් වේ. මෙම විනිසුරුවරයාම අභියාචනාධිකරණ සභාපති ධුරයට පත් කිරීමට මෙම ව්‍යවස්ථාදායක සභාව විසින්ම අනුමත කළ අතර ඊට මාස කීපයකට පසුව මෙම විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට උසස් කිරීම සඳහා වන නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් එය පැහැදිලි වන බව නඩු තීන්දුවෙහි සඳහන් වේ. පෙත්සම්කරු අධිකරණය හමුවේ සිය උපරිම විශ්වාසය තහවුරු කර නොමැති අතර මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ හුදෙක් යටි අරමුණකින් බවත් කිසිදු ආකාරයක මහජනතාව වෙනුවෙන් සද්භාවයෙන් සිදු කළ ක්‍රියාවක් නොවන බවත් ඉතා පැහැදිලි වන බවත් අධිකරණයේ මතය වන බව එහි සඳහන් වේ. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමේදී කිසිදු ආකාරයෙන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකමක් කඩවී නොමැති බව පැහැදිලි වන බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ. ඒ අනුව පෙත්සමෙහි වගඋත්තරකරුවන් වන පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, ආචාර්ය දිල්කුෂී අනුලා විජේසුන්දර සහ මහාචාර්ය දිනේෂ සමරකෝන් යන මහත්ම මහත්මීන්ට නඩු ගාස්තු වශයෙන් ලක්ෂ පහ බැගින් ගෙවන ලෙසට පෙත්සම්කරුට නියම කරන බව එහි දැක්වේ. එසේම වගඋත්තරකරුවන්ට ලක්ෂ පහක තවත් නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ. නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සමඟ නීතීඥ මෙහෙරාන් කරීම් මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ. ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා වගඋත්තරකාර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කබීර් හෂීම් මහතා වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයන් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, ආචාර්ය දිල්කුෂී අනුලා විජේසුන්දර සහ මහාචාර්ය ඩබ්ලිව්. වී. ඒ.දිනේෂ සමරත්න වෙනුවෙන් පෙනී සිටියේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය කථානායකවරයා නීතිපතිවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියාය.

කලාකරුවන්ගේ ජීවිත ගෞරවනීය බවට පත් කිරීමට ඇප කැප වනවා

ලැබුණු ජන වරමෙන් උපරිම ප්‍රයෝජන ගෙන, මෙරට කලාකරුවන්ගේ ජීවිත මීට වඩා ගෞරවනීය බවට පත් කරන්නට ඇප කැප වන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ 39 වැනි කලාභූෂණ රාජ්‍ය සම්මාන ප්‍රදානොත්සවය අරලියගහ මන්දිරයේදී ඊයේ (12) පැවති අවස්ථාවේදීය. සාහිත්‍ය, සංගීත, නාට්‍ය, චිත්‍ර හා මූර්ති සහ සෙසු කලා ක්ෂේත්‍රවල සුවිශේෂ මෙහෙවරක නිරත වූ වයස අවුරුදු හැට ඉක්මවූ කලාකරුවන් 200 දෙනකු සඳහා ජීවිතයේ එක් වරක් පමණක් කලාභූෂණ සම්මානය පුද කරනු ලබයි. එනයින් මෙවරද ජාතික තලයේ කලාකරුවෝ 34 දෙනෙක් කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූහ. සම්මාන ප්‍රදානෝත්සවයට එක් වෙමින් බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මෙසේද කීය: “අප ජීවත් වන මුළු මහත් රාජ්‍යයම නියෝජනය කරන රජයේම ගෞරවය මේ සම්මානය තුළ කැටි කරලා ඔබේ අතට පත් කරන මොහොතක්. රට කරවන්නේ කවුරුන් වුණත්, යුගය කුමක් වුවත් රාජ්‍ය සම්මානයේ අභිමානය මොහොතකටවත් අඩු වන්නේ නෑ. අතීතයේ සිට මේ මොහොත දක්වා පිරිනැමුණු මෙබඳු රාජ්‍ය සම්මාන සියල්ල නිසැකවම අනභිභවනීය වනවා. “සාහිත්‍ය, නාට්‍ය ආදි ක්ෂේත්‍රවල දීර්ඝ කාලයක් වැඩ කළ ඔබ සියලු දෙනා සම්මානයට පාත්‍ර වන විට, ඒ මහා පරිකල්පනයේ මහිමය ශිෂ්‍ය අවධියේ සිට ලැබූ අප සියලු දෙනාට ඇති වන්නේ මහත් සොම්නසක්. අපේ සංස්කෘතික ජීවිතය මෙපමණ ඔසවා තැබුණේ ඔබ කළ ඒ මෙහෙවර නිසයි. ඊට යම් යම් රජයන් ඒ ඒ වකවානුවල අත්වැලක් සපයන්න ඇති. දහසක් බාධා මධ්‍යයේ ඔබ සියලු දෙනා නොසැලී ආ ගමන ඉතා වැදගත්. විවිධ අභියෝගවලට බඳුන් වී සිටියදී පවා මේ සභාව අභිමානවත් කරන්න ඔබ සියලු දෙනා පැමිණ සිටිනවා. එයම ගෞරවයක්. “රාජ්‍යයක යුතුකම වන්නේ කලට වේලාවට ඇගයීම් සිදු කිරීමයි. හිරු නැති ලොවක් බඳු තැනකට තල්ලු කර තිබුණු රටක් ඔසවා තැබීමටයි අපි හැම දෙනාගේම වෑයම. දේශපාලන නායකත්වයට හැමදේම කරන්න බැහැ. මැතිවරණ ව්‍යාපාරයට රත්නපුර දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නෑර සැරි සරන අවස්ථාවේ සිරිපාගම පැත්තේ පුදුමාකාර ලස්සන ගම් දැක්කා. රාමු කරපු චිත්‍ර වගෙයි. ඒ ගම්වලට සොබාදහමෙන් ලැබෙන්න ඕනෑ දායාදය නොඅඩුව ලැබී තිබුණාට දේශපාලන නායකත්වයෙන් කිසිවක් ලැබී තිබුණේ නෑ. සමහර විට ඒ ගම්වල අප්‍රකට කලාකරුවන් කොයි තරම් ජීවත් වෙනවා ඇතිද? දේශපාලන දඬුවම් මාරු දෙන්න අපේ රට හරි ප්‍රසිද්ධයි. ඒ ගම්වල තිබෙන සමහර පාසල්වලට දඬුවම් මාරු ලැබී ගිය කලාකරුවන් කොයි තරම් ඉන්නවාද? රත්න ශ්‍රී විජේසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු, ධර්මසිරි රාජපක්ෂ වගේ අය එහෙම ගිහින් තිබෙනවා එකම පාසලකට. ඒ පාසල කොයි තරම් වාසනාවන්තද කියලා එක අතකට මට හිතෙනවා. ඒ වගේ ගම්වල වෙසෙන සියලු දෙනාගේත් අප සියලු දෙනාගේත් පරිකල්පනය දියුණු කරමින්, ඔබ අපට දායාද කර තිබෙන මහා සංස්කෘතික අස්වැන්නටයි මේ ප්‍රණාමය. “ජාතීන් තුනකට අයත් පිරිස මෙතැන සම්මාන ලබන විට ජාතිය, ආගම නිසාම කාලයක් මේ අය කොයි තරම් කඳුළු සලා තිබෙනොද? කොයි තරම් ලේ වගුරවා තිබෙනවාද කියා සිහිපත් වනවා. කොයි තරම් දුරට ඛේදවාචකවලින් විනිර්මුක්ත දේශයක් හදන්න පුළුවන්ද කියන අභියෝගය තමයි අප ඉදිරිපිට තිබෙන්නේ. “මේ කලාකෘති අපේ දේශපාලන විඥානය අමතනවා වගේම අපේ ඇසට කඳුළක් එකතු කරමින් ඥානය අවදි කරනවා. අප නිරවුල් කරන්න පුළුවන් වන්නේ සංස්කෘතික ජීවිතයට මඟ කියන ඔබට. එය මගේ අමාත්‍යාංශයේ තිබුණාට එහි නිර්ණායක සකස් කරන්නේ ඔබයි. මේ සියල්ල මතින් අපේ පරිකල්පන විශ්වය පුළුල් කළ ඔබ සියලු දෙනාට රාජ්‍යයේ හිස නවන මොහොතයි කලාභූෂණ සම්මානය කියන්නේ. මේ ශාලාවෙන් එළියට බසින විට ඔබගේ ජීවිතය භෞතිකව පහසුකම් පැත්තෙන් කොතරම් ආරක්ෂිතද නැද්ද කියන එක ගැන මට විශ්වාසයක් නැහැ. අප ඉදිරියේ තිබෙන අභියෝගය එයයි. සම්මානයක් ඔබේ අතට දීලා, සහතිකයක් ඔබේ අතට දීලා, ඔබේ මහා කර්තව්‍යය පුංචි කරන්න අපට බැරි වුණත්; දැනට කරන්න පුළුවන් දේ හැටියට මුළු මහත් ලංකාවම එකතු වෙලා තමයි ඔබ සියලු දෙනාට මේ ගෞරවය පිරිනමන්නේ. ඒ ළෙන්ගතුකම, ගෞරවය අරගෙන පිට වෙලා යමු. ලැබුණු ජනවරමෙන් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන මා උත්සාහ කරනවා, ඔබට උදාර සංස්කෘතික ජීවිතයක් උදා කරන්න. අපේ රටට උදාර සංස්කෘතික ජීවිතයක් හදන්න සහ කලාකරුවන්ගේ ජීවිතය මීට වඩා ගෞරවනීය බවට පත් කරන්න අප ඇප කැප වනවා.” සංස්කෘතික අධ්‍යක්ෂිකා යසින්තා ගුණවර්ධන මහත්මියද මෙහිදී අදහස් දැක්වූවාය. සම්භාවනීය කලාකරුවන් හා විද්වතුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

අපට එක්ව වැඩ කිරීමෙන් ඉන්දියානු සාගර කලාපය සහයෝගිතාවේ ආකෘතියක් කළ හැකියි

එක්ව කටයුතු කිරීමෙන් අපට ඉන්දියානු සාගර කලාපය සහයෝගීතාවයේ සහ තිරසර සංවර්ධනයේ ආකෘතියක් කිරීමට හැකි වනු ඇති බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා ප්‍රකාශ කළේය. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මේ අදහස් පළ කළේ පෙරේදා (11) රත්මලාන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ සමුද්‍රීය අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානය පිහිටුවීමේ සමාරම්භක උත්සවය අමතමිනි. එහිදී වැඩිදුරටත් ආරක්ෂක ලේකම්වරයා මෙසේද පැවසීය. “අද ස්ථාපනය කළ මේ සමුද්‍රීය අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානය (Regional Centre for Maritime Studies), විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් පරාසයක කටයුතු කරන අමාත්‍යාංශ සහ නියෝජිතායතන අතර අන්තර් සම්බන්ධතාවන් ප්‍රවර්ධනය කිරීමෙහිලා ප්‍රධානම හා උපායමාර්ගික ප්‍රමුඛතම ආයතනයක් ලෙස ක්‍රියා කරයි. එමඟින් ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිත රටවල සිදුකෙරෙන අන්තර්ජාතික ක්‍රියාකාරකම්වලදී ආයතනික සහ මෙහෙයුම් ඵලදායීතාව ඉහළ නැංවිය හැකි වනු ඇත. වර්තමානයේ පවතින අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමටත් ඉදිරියේදී ඇති විය හැකි අභියෝග සඳහා අවශ්‍ය පෙර සූදානම සැකසීමේදීත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බව අපගේ විශ්වාසයයි.” දූපත් රාජ්‍යයක් වශයෙන්, ශ්‍රී ලංකාවට සාගරය හා බද්ධ වූ ගැඹුරු සම්බන්ධතාවක් පවතින අතර, එය අපගේ ආර්ථිකයට අත්‍යවශ්‍ය සාධකයක් මෙන්ම අසල්වැසි රටවල් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කරන්නා වූ හවුල් උරුමයක් ලෙස ද සැලකිය හැකිය. ඉන්දියන් සාගරය තවත් එක් ජල තලයකට පමණක් සීමා නොවන බවත්, එය කලාපීය සංවර්ධනය සඳහා ලැබෙන අවස්ථාවන්ගේ මාවතක් සහ හවුල් වගකීමේ කලාපයක් බවත් ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රංශ ජනරජයේ යුරෝපා හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම් Anne-Marie Descôtes මහත්මිය මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය යටතේ මේ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් එක්ව කටයුතු කළ අතර මෙමඟින්, විෂයානුබද්ධව කටයුතු කරන විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු, කලාපීය නාවික හමුදා, වෙරළාරක්‍ෂක ඒකක සහ පෞද්ගලික අංශයේ සමුද්‍රීය පාර්ශ්වකරුවන් අතර බාධාවකින් තොරව සන්නිවේදනය සහ දැනුම හුවමාරු කර ගැනීමට පහසුකම් සපයයි. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වැඩබලන ප්‍රංශ තානාපතිනි Marie-Noëlle Duris, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර සහ සමුද්‍රීය අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කපිතාන් චමිල ඊ. මෙන්ඩිස් මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ. ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රංශ ජනරජයේ යුරෝපා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම්, නාවික හමුදාපති සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාල නාවික උපදේශක නාවික හමුදාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක වශයෙන් කටයුතු කරන‍ ජ්‍යෙෂ්ඨ කපිතාන් ZHENG Zhaoping මහතා ඉකුත්දා (10) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවකට නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවිය. මේ නිල හමුවේදී නාවික හමුදාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර, මේ නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. අධ්‍යක්‍ෂ ජනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් ජානක මාරඹේ, අධ්‍යක්‍ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු අරුණ වීරසිංහ සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් Zhou Bo ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ නඩුවේ තීන්දුව 19දා

මීට වසර අටකට පෙරදී කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් ආගමට අපහාසයක් වන ආකාරයේ හා ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා ලද බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 19 වන දින ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය. 2016 වසරේ ජූලි මස අටවෙනි දින හෝ ඊට ආසන්න දිනකදී කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී විත්තිකාර ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කර ඇති එකී ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තියට අනුව වරදක් බවද පැමිණිල්ල ගොනු කළ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දී තිබුණි. සිද්ධියට අදාළව ගොනුකර තිබෙන චෝදනා සනාථ කිරීමට තරම් සාක්ෂි පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් විත්තිකාර ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසද ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් මහතා පෙර නඩු දිනකදී අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. දෙපාර්ශ්වය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධියට අදාළ තීන්දුව මෙම මස 19 දින ලබාදෙන බව දැනුම් දුන්නේය.

මුරකරු ගුරු උපදේශකයකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණනක ණයක් අරන්

කවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන මුරකරුවෙකු ගුරු උපදේශකයකු ලෙස පෙනී සිටිමින් වංචනික ආකාරයට ලක්ෂ ගණනක ණය මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. වීරඹුගෙදර, කළුගමුව පදිංචිකරුවකු වන මුරකරු වයඹ පළාත් අධ්‍යාපන ණය ගනුදෙනු හා සකසුරුවම් සමිතියෙන් (EDCS) මෙම ණය මුදල ලබාගෙන ඇති බව පැවැසේ. මොහු එම ණය මුදල ලබාගැනීම සඳහා නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටින ගුරු උපදේශකයකු ලෙස පෙනී සිටීමට අමතරව, ඒ සඳහා ඉදිරිපත් කරන ලද ණය අයඳුම්පත සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයේම සේවය කරන මුදල් සහකාර නිලධාරිනියගේ අත්සන සහ නිල මුද්‍රාව ද වංචනික ලෙස අවභාවිත කර ඇති බවද අනාවරණය වී ඇත. මුදල් සහකාර නිලධාරිනිය භාවිත කරන නිල මුද්‍රාවට සමාන ව්‍යාජ මුද්‍රාවක් මොහු සකසාගෙන මේ සඳහා භාවිත කර ඇති බවද පැවැසේ. ගුරු උපදේශකයකු ලෙස ඉදිරිපත් කළ ව්‍යාජ ණය අයදුම්පතට අධ්‍යාපන ණය ගනුදෙනු සමිතියෙන් අයදුම් කරන ලද ණය මුදල ද නිකුත් කර තිබෙන අතර එහි මාසික ණය වාරිකය රුපියල් හතළිස් දහසක් බව පැවැසේ. මුරකරුගේ රැකියාවේ මූලික මාසික වැටුප රුපියල් තිස්දහසකට ආසන්න වන අතර, එවැනි වැටුපකින් මෙවැනි ණය වාරිකයක් ගෙවමින් ජීවත් විය නොහැකි බවද පැවැසේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ඒ.එල්.පී. හපුආරච්චි මහතා ප්‍රකාශ කළේ මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කරන බවයි.

වගා හානි වූ ගොවීන්ට කෝටි 180ක්






අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ පසුගියදා ඇති වූ ගංවතුරෙන් විනාශ වූ කුඹුරු ඉඩම් ප්‍රමාණයට වන්දි ගෙවීම සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 180ක් වැය වනු ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි. මේ වන විට ගොවීන් 100,614 දෙනකු, කුඹුරු වගා බිම් 200,804ක් පැවැති ගංවතුරෙන් විනාශ වූ බව එම මණ්ඩලයට දැනුම් දී ඇත. මෙහිදී ගොවීන්ට සිදුවූ වගා හානි තක්සේරු කර වන්දි මුදල් නිශ්චය කිරීම සඳහා ප්‍රාදේශීය වගා හානි තක්සේරු කමිටු පත් කර ඇත. ඒ අනුව අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා කමිටුවේ සභාපතිත්වය දරන අතර, ප්‍රදේශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි, කෘෂිකර්ම උපදේශක, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි, ග්‍රාම නිලධාරි/ මහවැලි ඒකක කළමනාකරු සහ ගොවි සංවිධානයේ බලයලත් නියෝජිතයකුගෙන් මෙම කමිටුව සමන්විත වෙයි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසුමකදී පැවැසුවේ ගොවීන් විසින් තම වගා හානි පිළිබඳ තොරතුරු සම්පූර්ණ කර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදෙන වගා හානි දැනුම් දීමේ අයැදුම්පත්වලට අදාළ හානි තක්සේරු කර, වන්දි මුදල් නිශ්චය කිරීමට එම අයැදුම්පත් ප්‍රාදේශීය වගා හානි තක්සේරු කමිටුවලට ඉදිරිපත් කරන බවයි. එම වගා හානි තක්සේරු කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් විසින් පොදු ලිපියක් සමඟ යොමු කරනු ලබන වන්දි අයැදුම්පත්, වන්දි මුදල් ගණනය කිරීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල වෙත ඉදිරිපත් කිරීම අදාළ ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරින් විසින් සිදු කෙරෙන බව ද සභාපතිවරයා කීය. වගා හානි පිළිබඳ මූලික පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති අතර, වගා හානි තක්සේරු කටයුතු ආරම්භ කර ඇතැයිද ඒ මහතා අවධාරණය කළේය.

MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් දිවයිනට




Uploading: 200348 of 200348 bytes uploaded.




ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම අද (12) සිදුවිය. ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති ලෙවාර් ජගර්යාන් මහතා සහ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙනි. එම පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 30,000ක් දැනට වී වගාව ආරම්භ කර ඇති ගොවීන් වෙනුවෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සකස් කරන ලද ප්‍රමුඛතා ලැයිස්තුව මත නොමිලේ ලබාදීමට නියමිතය. ඉතිරි පොහොර ප්‍රමාණය පොල් වගාව සඳහා ලබාදීමට තීරණය කර තිබේ

රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්





රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (12) පැවති සාකච්ඡාවේදීය. රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකුව විසින් ගතයුතු සෑම පියවරක්ම ගන්නා ලෙසද ඊට රජයේ සහයෝගය හා පහසුකම් සැලසීම සිදු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය. බැංකු මූල්‍ය කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා මනා යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ආර්ථිකයෙහි සහ මූල්‍ය පද්ධතියෙහි වර්ධනයන් සමස්තයක් ලෙස සමීපව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව , මහ බැංකුව විසින් මූල්‍ය ස්ථායිතාව සහ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම සඳහා නව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමටද මෙහිදී අවධානයට යොමු විය. මූල්‍ය පද්ධතිය තුළ පවතින සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති තවදුරටත් බලාත්මක කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ආර්ථිකය ස්ථායී වීමත් සමග වත්කම්වල ගුණාත්මක භාවයෙහි ආරක්ෂිත වර්ධනයන් සහ විචක්ෂණශීලි ලෙස අවදානම් කළමනාකරණය කර ගනිමින් ප්‍රාග්ධනය ගොඩනැගීමත් සමග ඉදිරි මූල්‍ය පද්ධතියේ යහපත් කාර්ය සාධනයක් මෙමගින් අපේක්ෂා කෙරේ . කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


පසුගිය දෙවසර තුළ ශිෂ්‍ය පාර්ලිමේන්තු 200ට වඩා වැඩි ප්‍රමාණයක්

 



පසුගිය දෙවසර තුළ ශිෂ්‍ය පාර්ලිමේන්තු 200ට වඩා වැඩි ප්‍රමාණයක් පවත්වා පාර්ලිමේන්තුව, මහජනයා වෙත වඩාත් සමීප කරවීමට කටයුතු කර තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසුවයා.

මෙරට ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය ආරක්ෂා කරගැනීම උදෙසා, ඉදිරියේදී තවදුරටත් මහජනතාව වෙත සමීප වෙමින් පාර්ලිමේන්තුවේ වැදගත්කම පිළිබඳව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පවසුවයා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ඊයේ (11) පැවති බස්නාහිර පළාත් ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් මහ ලේකම්වරිය මේ අදහස් පළ කලාය.

එමෙන්ම මෙහිදී මහ ලේකම්වරිය විසින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි කාර්ය භාරය පිළිබඳව සිසුන් දැනුවත් කරමින්, පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පුර්ණ පැහැදිලි කිරීමක් සිදු කළාය.

බස්නාහිර පළාත් ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මේ අවස්ථාව සමගින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ විජේසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ආර් දේවබන්දු, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අනුර ප්‍රේමලාල් යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ විජේසිංහ මහත්මිය විසින් ශිෂ්‍ය පාර්ලිමේන්තුව මගින් සමාජයේ පවතින සමාජ ,ආර්ථික ගැටලු ගැඹුරින් අධ්‍යනය කර ඒ පිළිබඳව සමාජ කථිකාවතක් නිර්මාණ කිරීමේ වැදගත්කම සිහිපත් කලාය.

පසුව බස්නාහිර පළාත් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අරඹමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවුණි. අනතුරුව අග්‍රාමත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරයා විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදි.

මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් සඳහා සහතිකපත්‍ර ලබාදීම ද පාර්ලිමෙන්තු මහ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අනතුරුව බස්නාහිර පළාත් ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත කැඳවා තවදුවරත් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා ක්‍රමවේද සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලදී. මෙම අවස්ථාව සමගින් කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා හා අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා යන මහත්වරුන් සහභාගී වූහ. මෙහිදී පාර්ලිමේන්තුවේ කාරකසභා ක්‍රමය පිළිබඳව ජයලත් පෙරේරා මහතා විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදුකළේය. එමෙන්ම මෙහිදී පාර්ලිමේන්තු ක්‍රියාදාමය සම්බන්ධයෙන් සිසුන්ට පවතින ගැටලු ඉදිරිපත් කිරීමටද අවස්ථාව ලබාදී තිබුණි. එමෙන්ම පාර්ලිමේන්තු ක්‍රියාදාමය සම්බන්ධයෙන් සිසුන්ට පවතින ගැටලු ද මෙහිදී සාකච්ජා කෙරිණි.

මේ අවස්ථාව සමගින් බස්නාහිර පළාතේ කලාප අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන්, ගුරු භවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.