Sunday, December 15, 2024

කලාකරුවන්ගේ ජීවිත ගෞරවනීය බවට පත් කිරීමට ඇප කැප වනවා

ලැබුණු ජන වරමෙන් උපරිම ප්‍රයෝජන ගෙන, මෙරට කලාකරුවන්ගේ ජීවිත මීට වඩා ගෞරවනීය බවට පත් කරන්නට ඇප කැප වන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ 39 වැනි කලාභූෂණ රාජ්‍ය සම්මාන ප්‍රදානොත්සවය අරලියගහ මන්දිරයේදී ඊයේ (12) පැවති අවස්ථාවේදීය. සාහිත්‍ය, සංගීත, නාට්‍ය, චිත්‍ර හා මූර්ති සහ සෙසු කලා ක්ෂේත්‍රවල සුවිශේෂ මෙහෙවරක නිරත වූ වයස අවුරුදු හැට ඉක්මවූ කලාකරුවන් 200 දෙනකු සඳහා ජීවිතයේ එක් වරක් පමණක් කලාභූෂණ සම්මානය පුද කරනු ලබයි. එනයින් මෙවරද ජාතික තලයේ කලාකරුවෝ 34 දෙනෙක් කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූහ. සම්මාන ප්‍රදානෝත්සවයට එක් වෙමින් බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මෙසේද කීය: “අප ජීවත් වන මුළු මහත් රාජ්‍යයම නියෝජනය කරන රජයේම ගෞරවය මේ සම්මානය තුළ කැටි කරලා ඔබේ අතට පත් කරන මොහොතක්. රට කරවන්නේ කවුරුන් වුණත්, යුගය කුමක් වුවත් රාජ්‍ය සම්මානයේ අභිමානය මොහොතකටවත් අඩු වන්නේ නෑ. අතීතයේ සිට මේ මොහොත දක්වා පිරිනැමුණු මෙබඳු රාජ්‍ය සම්මාන සියල්ල නිසැකවම අනභිභවනීය වනවා. “සාහිත්‍ය, නාට්‍ය ආදි ක්ෂේත්‍රවල දීර්ඝ කාලයක් වැඩ කළ ඔබ සියලු දෙනා සම්මානයට පාත්‍ර වන විට, ඒ මහා පරිකල්පනයේ මහිමය ශිෂ්‍ය අවධියේ සිට ලැබූ අප සියලු දෙනාට ඇති වන්නේ මහත් සොම්නසක්. අපේ සංස්කෘතික ජීවිතය මෙපමණ ඔසවා තැබුණේ ඔබ කළ ඒ මෙහෙවර නිසයි. ඊට යම් යම් රජයන් ඒ ඒ වකවානුවල අත්වැලක් සපයන්න ඇති. දහසක් බාධා මධ්‍යයේ ඔබ සියලු දෙනා නොසැලී ආ ගමන ඉතා වැදගත්. විවිධ අභියෝගවලට බඳුන් වී සිටියදී පවා මේ සභාව අභිමානවත් කරන්න ඔබ සියලු දෙනා පැමිණ සිටිනවා. එයම ගෞරවයක්. “රාජ්‍යයක යුතුකම වන්නේ කලට වේලාවට ඇගයීම් සිදු කිරීමයි. හිරු නැති ලොවක් බඳු තැනකට තල්ලු කර තිබුණු රටක් ඔසවා තැබීමටයි අපි හැම දෙනාගේම වෑයම. දේශපාලන නායකත්වයට හැමදේම කරන්න බැහැ. මැතිවරණ ව්‍යාපාරයට රත්නපුර දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නෑර සැරි සරන අවස්ථාවේ සිරිපාගම පැත්තේ පුදුමාකාර ලස්සන ගම් දැක්කා. රාමු කරපු චිත්‍ර වගෙයි. ඒ ගම්වලට සොබාදහමෙන් ලැබෙන්න ඕනෑ දායාදය නොඅඩුව ලැබී තිබුණාට දේශපාලන නායකත්වයෙන් කිසිවක් ලැබී තිබුණේ නෑ. සමහර විට ඒ ගම්වල අප්‍රකට කලාකරුවන් කොයි තරම් ජීවත් වෙනවා ඇතිද? දේශපාලන දඬුවම් මාරු දෙන්න අපේ රට හරි ප්‍රසිද්ධයි. ඒ ගම්වල තිබෙන සමහර පාසල්වලට දඬුවම් මාරු ලැබී ගිය කලාකරුවන් කොයි තරම් ඉන්නවාද? රත්න ශ්‍රී විජේසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු, ධර්මසිරි රාජපක්ෂ වගේ අය එහෙම ගිහින් තිබෙනවා එකම පාසලකට. ඒ පාසල කොයි තරම් වාසනාවන්තද කියලා එක අතකට මට හිතෙනවා. ඒ වගේ ගම්වල වෙසෙන සියලු දෙනාගේත් අප සියලු දෙනාගේත් පරිකල්පනය දියුණු කරමින්, ඔබ අපට දායාද කර තිබෙන මහා සංස්කෘතික අස්වැන්නටයි මේ ප්‍රණාමය. “ජාතීන් තුනකට අයත් පිරිස මෙතැන සම්මාන ලබන විට ජාතිය, ආගම නිසාම කාලයක් මේ අය කොයි තරම් කඳුළු සලා තිබෙනොද? කොයි තරම් ලේ වගුරවා තිබෙනවාද කියා සිහිපත් වනවා. කොයි තරම් දුරට ඛේදවාචකවලින් විනිර්මුක්ත දේශයක් හදන්න පුළුවන්ද කියන අභියෝගය තමයි අප ඉදිරිපිට තිබෙන්නේ. “මේ කලාකෘති අපේ දේශපාලන විඥානය අමතනවා වගේම අපේ ඇසට කඳුළක් එකතු කරමින් ඥානය අවදි කරනවා. අප නිරවුල් කරන්න පුළුවන් වන්නේ සංස්කෘතික ජීවිතයට මඟ කියන ඔබට. එය මගේ අමාත්‍යාංශයේ තිබුණාට එහි නිර්ණායක සකස් කරන්නේ ඔබයි. මේ සියල්ල මතින් අපේ පරිකල්පන විශ්වය පුළුල් කළ ඔබ සියලු දෙනාට රාජ්‍යයේ හිස නවන මොහොතයි කලාභූෂණ සම්මානය කියන්නේ. මේ ශාලාවෙන් එළියට බසින විට ඔබගේ ජීවිතය භෞතිකව පහසුකම් පැත්තෙන් කොතරම් ආරක්ෂිතද නැද්ද කියන එක ගැන මට විශ්වාසයක් නැහැ. අප ඉදිරියේ තිබෙන අභියෝගය එයයි. සම්මානයක් ඔබේ අතට දීලා, සහතිකයක් ඔබේ අතට දීලා, ඔබේ මහා කර්තව්‍යය පුංචි කරන්න අපට බැරි වුණත්; දැනට කරන්න පුළුවන් දේ හැටියට මුළු මහත් ලංකාවම එකතු වෙලා තමයි ඔබ සියලු දෙනාට මේ ගෞරවය පිරිනමන්නේ. ඒ ළෙන්ගතුකම, ගෞරවය අරගෙන පිට වෙලා යමු. ලැබුණු ජනවරමෙන් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන මා උත්සාහ කරනවා, ඔබට උදාර සංස්කෘතික ජීවිතයක් උදා කරන්න. අපේ රටට උදාර සංස්කෘතික ජීවිතයක් හදන්න සහ කලාකරුවන්ගේ ජීවිතය මීට වඩා ගෞරවනීය බවට පත් කරන්න අප ඇප කැප වනවා.” සංස්කෘතික අධ්‍යක්ෂිකා යසින්තා ගුණවර්ධන මහත්මියද මෙහිදී අදහස් දැක්වූවාය. සම්භාවනීය කලාකරුවන් හා විද්වතුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

No comments:

Post a Comment