Sunday, December 15, 2024

මුරකරු ගුරු උපදේශකයකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණනක ණයක් අරන්

කවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන මුරකරුවෙකු ගුරු උපදේශකයකු ලෙස පෙනී සිටිමින් වංචනික ආකාරයට ලක්ෂ ගණනක ණය මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. වීරඹුගෙදර, කළුගමුව පදිංචිකරුවකු වන මුරකරු වයඹ පළාත් අධ්‍යාපන ණය ගනුදෙනු හා සකසුරුවම් සමිතියෙන් (EDCS) මෙම ණය මුදල ලබාගෙන ඇති බව පැවැසේ. මොහු එම ණය මුදල ලබාගැනීම සඳහා නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටින ගුරු උපදේශකයකු ලෙස පෙනී සිටීමට අමතරව, ඒ සඳහා ඉදිරිපත් කරන ලද ණය අයඳුම්පත සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයේම සේවය කරන මුදල් සහකාර නිලධාරිනියගේ අත්සන සහ නිල මුද්‍රාව ද වංචනික ලෙස අවභාවිත කර ඇති බවද අනාවරණය වී ඇත. මුදල් සහකාර නිලධාරිනිය භාවිත කරන නිල මුද්‍රාවට සමාන ව්‍යාජ මුද්‍රාවක් මොහු සකසාගෙන මේ සඳහා භාවිත කර ඇති බවද පැවැසේ. ගුරු උපදේශකයකු ලෙස ඉදිරිපත් කළ ව්‍යාජ ණය අයදුම්පතට අධ්‍යාපන ණය ගනුදෙනු සමිතියෙන් අයදුම් කරන ලද ණය මුදල ද නිකුත් කර තිබෙන අතර එහි මාසික ණය වාරිකය රුපියල් හතළිස් දහසක් බව පැවැසේ. මුරකරුගේ රැකියාවේ මූලික මාසික වැටුප රුපියල් තිස්දහසකට ආසන්න වන අතර, එවැනි වැටුපකින් මෙවැනි ණය වාරිකයක් ගෙවමින් ජීවත් විය නොහැකි බවද පැවැසේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ඒ.එල්.පී. හපුආරච්චි මහතා ප්‍රකාශ කළේ මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කරන බවයි.

No comments:

Post a Comment