Sunday, December 15, 2024
අපට එක්ව වැඩ කිරීමෙන් ඉන්දියානු සාගර කලාපය සහයෝගිතාවේ ආකෘතියක් කළ හැකියි
එක්ව කටයුතු කිරීමෙන් අපට ඉන්දියානු සාගර කලාපය සහයෝගීතාවයේ සහ තිරසර සංවර්ධනයේ ආකෘතියක් කිරීමට හැකි වනු ඇති බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා ප්‍රකාශ කළේය.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මේ අදහස් පළ කළේ පෙරේදා (11) රත්මලාන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ සමුද්‍රීය අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානය පිහිටුවීමේ සමාරම්භක උත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් ආරක්ෂක ලේකම්වරයා මෙසේද පැවසීය.
“අද ස්ථාපනය කළ මේ සමුද්‍රීය අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානය (Regional Centre for Maritime Studies), විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් පරාසයක කටයුතු කරන අමාත්‍යාංශ සහ නියෝජිතායතන අතර අන්තර් සම්බන්ධතාවන් ප්‍රවර්ධනය කිරීමෙහිලා ප්‍රධානම හා උපායමාර්ගික ප්‍රමුඛතම ආයතනයක් ලෙස ක්‍රියා කරයි.
එමඟින් ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිත රටවල සිදුකෙරෙන අන්තර්ජාතික ක්‍රියාකාරකම්වලදී ආයතනික සහ මෙහෙයුම් ඵලදායීතාව ඉහළ නැංවිය හැකි වනු ඇත. වර්තමානයේ පවතින අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමටත් ඉදිරියේදී ඇති විය හැකි අභියෝග සඳහා අවශ්‍ය පෙර සූදානම සැකසීමේදීත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බව අපගේ විශ්වාසයයි.”
දූපත් රාජ්‍යයක් වශයෙන්, ශ්‍රී ලංකාවට සාගරය හා බද්ධ වූ ගැඹුරු සම්බන්ධතාවක් පවතින අතර, එය අපගේ ආර්ථිකයට අත්‍යවශ්‍ය සාධකයක් මෙන්ම අසල්වැසි රටවල් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කරන්නා වූ හවුල් උරුමයක් ලෙස ද සැලකිය හැකිය. ඉන්දියන් සාගරය තවත් එක් ජල තලයකට පමණක් සීමා නොවන බවත්, එය කලාපීය සංවර්ධනය සඳහා ලැබෙන අවස්ථාවන්ගේ මාවතක් සහ හවුල් වගකීමේ කලාපයක් බවත් ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රංශ ජනරජයේ යුරෝපා හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම් Anne-Marie Descôtes මහත්මිය මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය යටතේ මේ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් එක්ව කටයුතු කළ අතර මෙමඟින්, විෂයානුබද්ධව කටයුතු කරන විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු, කලාපීය නාවික හමුදා, වෙරළාරක්‍ෂක ඒකක සහ පෞද්ගලික අංශයේ සමුද්‍රීය පාර්ශ්වකරුවන් අතර බාධාවකින් තොරව සන්නිවේදනය සහ දැනුම හුවමාරු කර ගැනීමට පහසුකම් සපයයි.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වැඩබලන ප්‍රංශ තානාපතිනි Marie-Noëlle Duris, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර සහ සමුද්‍රීය අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කපිතාන් චමිල ඊ. මෙන්ඩිස් මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.
ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රංශ ජනරජයේ යුරෝපා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම්, නාවික හමුදාපති සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment