බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හිදී පසුගිය සිකුරාදා පැවැති ක්‍රිකට් වැඩමුළුවකට එක්වෙමින් මාලිංග පවසා සිටියේ ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කර ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම නවත්වා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පත්කරන ලද කමිටුවක් විසින් මෙම වැඩුළුව සංවිධානය කරන තිබුණු අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයත් ඊට හේතුවූ කාරණාත් සම්බන්ධයෙන් ලසිත් මාලිංග විසින් දිගින් දිගටම කරුණු දක්වා සිටියේ මේ අයුරිනි.
“අපි තණකොළ තියෙන තණතීරුවක් ඉල්ලුවාම ඒගොල්ලන් තණකොළ කපලා තට්යක් වගේ තණතීරුවක් දෙනවා….තණකොළ කැපුවේ ඇයි කියලා ඇහැව්වාම තණකොළ මැෂිමට වැරදි තලේ දාලා කියනවා”
“මේක සිද්ධ වුණේ එක පාරක් නෙමේ දෙපාරක්, මම මේ ගැන බලධාරීන්ට කිව්වත් කිසිම දෙයක් වුණේ නෑ. මම කියන්නේ නෑ අපි මැච් පැරදුනේ ඒක හින්දයි කියලා. ඒත් මේ විදිහට අපට අවශ්‍ය දේ වෙන්නේ නැති වුණාම ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා”
අපට පුහුණුකරුවන් මහ ගොඩක් ඉන්නවා. ඒත් අහන්න තියෙන්නේ ඒ අය නිසි සුදසුකම් තියෙන පුහුණුකරුවන්ද කියලයි. තරුණ ක්‍රීඩකයන් ප්‍රවීණත්වය දක්වා ගෙන යන්නට ඔවුන්ට තියෙන සුදසුකම් මොනවාද කියලයි”
“උදාහරණයකට කියනවා නම් කිසියම් ක්‍රීඩකයකුගේ අසාර්ථක සමයකදී පුහුණුකරුවාට තියෙන්න ඕනේ එයාට උදව් කරන්න හැකියාවක්. ඔහුගේ මානසිකත්වය වර්ධනය කරලා නැවතත් දස්කම් අතරට ගේන්න පුහුණුකරුවාට හැකියාවක් තියෙන්න ඕනේ”….
“අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බාරදීලා ඉන්නේ හරිහමන් පළමු පෙළ තරග අත්දැකීම්වත් නැති කෙනෙකුටයි”
“අපි ඒ වගේ තනතුරක් වෙනුවෙන් තෝරා ගන්න ඕනේ හරි හමන් සුදසුකම් තියෙන කෙනෙක්. ඒත් අපි ඒ වගකීම දීලා තියෙන්නේ පළමු පෙළ තරග 16 ක් ක්‍රීඩ කරපු, තරග දිවිය පුරාම ලකුණු 100 ක් වත් ගහපු නැති කෙනෙකුට. මේක බරපතළ වැරැද්දක්”
“ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමෙන් ඉවතට ගියාම එයාට කණ්ඩායමේ පුහුණු පහසුකම් භාවිතා කරන්න බෑ. අපි මේගැන කතා කළත් කිසිම විසඳුමක් නෑ. ඒ නිසා අපට පුහුණුවීම් සඳහා අපේ ක්‍රීඩා සමාජ වෙත යන්න වෙනවා”
“කාලයකට ඉස්සරවෙලා සමහර අයගේ මතයක් තිබුණා පාසල් පිටියේ ඉඳලා කෙළින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ගන්න පුළුවන් කියලා. ඒත් එහෙම කළොත් පළමු පෙළ අත්දැකීම් තියෙන අයට අසාධාරණයක් වෙනවා”
තිළිණ කණ්ඩම්බි, චාමර කපුගෙර, මලින්ද වර්ණපුර, ජෙහාන් මුබාරක්, කෞෂාල් ලොකුආරච්චි, කෞෂාල් වීරරත්න වගේ ක්‍රීඩකයන්ව හරියට නඩත්තු කළානම් අද අපට මේ වගේ දෙයක් වෙන්නේ නෑ. ඒ සේරමලාට හොඳ පළමු පෙළ අත්දැකීම් තිබුණා. ඒත් දැන් ඒ සේරමලා අපට අහිමි වෙලා”
“මම නැවතත් කියන්නේ ඒ වගේ වැරදි නැවත වෙන්න දෙන්න එපා කියලයි. එහෙම වුණොත් තවත් අවුරුදු කීපයකට පස්සෙත් අපේ ඉරණම මේ වගේම තමයි”
‘වෝටර්ස් එජ්’ හිදී මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෝ, හිටපු ක්‍රීඩකයෝ, තේරීම් කමිටුවේ හිටපු නිලධාරීහු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු මෙන්ම ආරාධිතයෝ කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ. දශක හතරකට වැඩි කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතාද ඒ අතර විය.
No comments:
Post a Comment